Skip to content Skip to footer

ශ්‍රී ලංකාව තුල පවතින පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය


සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මවිනය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමු, දෙවන හා තෙවන ධර්ම සංගායනා මාර්ගයෙන් ත්‍රිපිටකය වශයෙන් සංග්‍රහ කොට ආරක්ෂා කරන ලද අතර භාණක පරම්පරා විසින් මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන එන ලදී. පසුව ලක්දිව රජ පැමිණි වලගම්බා රාජ්‍ය සමයෙහි එම උතුම් ත්‍රිපිටකය මාතුල අළුලෙන් විහාරයේ දී මහරහතන් වහන්සේලා පන්සිය නමක් විසින් පුස්කාරූඪ කරන ලදී. මෙය පොත්ථක සංගීතිය නමින් ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙසේ ග්‍රන්ථාරූඪ කරන ලද උතුම් ත්‍රිපිටකය එවක් පටන් වරින්වර පුස්කොළවල පිටපත් කරමින් අවිච්ඡින්ව පවත්වා ගෙනෙ එන ලදී. මෙයට අමතරව අට්ඨකථා, ටීකා, සන්න, ගැටපද, වංසකථා, බණ පොත්, ව්‍යාකරණ, ඡන්දෝලංකාර, කාව්‍ය, වෙද පොත්, කඩඉම් පොත් ආදි සුවිශාල සාහිත්‍යයක් පුස්කොළ පොත්වල ලේඛන ගත කොට ඇත. ලක්දිව පුස්කොළ පොත් ප්‍රධාන වශයෙන් පාලි, සිංහල භාෂාවලින් ලියා තිබේ. තල ගස්වල පත්‍රගෙන පදම් කොට සකස් කරන ලද පත්ඉරුවලින් ප්‍රධාන වශයෙන් මෙම පුස්කොළ පොත් සකස් කොට ඇත. වර්තමානය වන විට ලක්දිව විහාරාරාමවල ද කෞතුකාගාරවල ද මේවා දක්නට හැකි ය. මෙයට අමතරව ශ්‍රී ලංකාව යටත් විජිත සමයෙහි මෙරටින් ගෙන යන ලද පුස්කොළ පොත් රාශියක් ඇතැම් විදෙස් විශ්වවිද්‍යාලයවල හා කෞතුකාගාරවල ද දක්නට ලැබේ. ශ්‍රී ලාංකිකයන්ගේ අතීත අභිමානය, ධර්මඥානය, තර්කඥානය, ශාස්ත්‍රීය හා තාක්ෂණික ඥානය ආදිය මැනවින් කැටපත් වී ඇති ඉපැරණි පුස්කොළ පොත් ආරක්ෂා කොට තැබීම ජාතියට, බුදුසමයට පමණක් නොව සමස්ත ලෝකවාසීන් වෙනුවෙන් ම සිදු කරන ඉමහත් සත්කාර්යයකි.

ලක්දිව බුදුසමය පිළිබඳ විමසීමේ දී පුස්කොළ පොත් අමතක කළ නොහැකි සම්පතකි. නිර්මල ථෙරවාද ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා, බණ පොත් ආදී විශාල ප්‍රමාණයක් මෙම පුස්කොළ පොත් අතර වේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව, Pali text society මගින් මුද්‍රණය කළ ත්‍රිපිටකය ආදී ත්‍රිපිටක ග්‍රන්ථාවලි සකස් කරන ලද්දේ ද යථෝක්ත පුස්කොළ පිටපත් ආශ්‍රය කරගනිමින් ය. කෙසේ වුව ද සුවිශේෂී උරුමයක් වන ‍පුස්කොළ පොත් මේ වන විට විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත. මීයන්, වේයන් ආදී සතුන්ට ගොදුරු වීම, ස්වභාවික උපද්‍රව හා නිසි පරිදි නඩත්තු නොකිරීම හා කල්ගතවීම වැනි කරුණු හේතුවෙන් අපට අහිමි වී ගොස් ඇති මේ මහාසම්පතින් ඉතිරි වී ඇති ඇතැම් කොටස් පවා මේ වන විට ද විනාශ මුඛයෙහි පැවතීම කණගාටුවට කරුණකි.

මෙම පුස්කොළ පොත් අනාගත පරපුරට දායාද කොට දීම සඳහා අප විසින් මෙම පුස්කොළ පොත් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ඒ අනුව ලක්දිව විහාරස්ථානවල පමණක් නොව විදේශයන්හි පවා පවතින ඉපැරණි පුස්කොළ පොත් ඡායා පිටපත් (micro film) කොට සංරක්ෂණ කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබයි. හුදු සංරක්ෂණයට පමණක් සීමා නොවන අපගේ වැඩ පිළිවෙළ යටතේ දෙස්විදෙස් විශ්වවිද්‍යාලයයන්හි අධ්‍යයන හා පර්යේෂණ සිදු කරන විද්‍යාර්ථීන්ට අන්තර්ජාලය ඔස්සේ ඒවා නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දීම ද සිදු කරනු ලබයි.

නිර්මල ථෙරවාද බුදුදහමේ අඛණ්ඩ ඓතිහාසික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා මෙම පුස්කොළ පොත් ඡායා පිටපත් කොට සංරක්ෂණ කොට තැබීම ඉතා වැදගත් වේ. එසේ නොවන්නට වර්තමානයේ අප විසින් පරිශීලනය කරන මුද්‍රිත ත්‍රිපිටකය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ ඉපැරණි ම ත්‍රිපිටකය බව සනිදර්ශනව තහවුරු කිරීමට අපට අසීරු විය හැකි ය.

මෙය බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන් සිදු කෙරෙන උතුම් ම මෙහෙවරකි. ජාතියේ ඓතිහාසික ගෞරවය විදහාපාන මෙම මාහැඟි සම්පත ආරක්ෂා කෙරෙන කාලෝචිත කටයුත්තකි. එය අපගේ අතීතයේ වැඩසිටි භික්ෂූන් වහන්සේලාගේ හා ශාසනමාමක මුතුන්මිත්තන්ගේ අපරිමාණ කැප කිරීම උදෙසා අප විසින් සිදු කරනු ලබන උපහාරයකි. විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි සිදු කරගෙන යනු ලබන මෙම උතුම් සත්කාර්ය සඳහා පින් කැමති ඔබට දායකත්වය ලබා ගත හැකි ය. මේ මාහැඟි පින්කමට පින්වත් ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.

  • පුස්කොළ පොත් ව්‍යාපෘතිය සඳහා දායක වීමට ගිණුම් අංකය:
    102161004585 විභජ්ජවාද සංවිධානය, සම්පත් බැංකුව සුපර් ශාඛාව, අනුරාධපුර.

පින්වත් ඔබ විසින් ලබාදෙන පුණ්‍යාධාර පිළිබඳ අපව දැනුවත් කිරීම අපගේ කටයුතු සඳහා පහසුවක් බව කාරුණිකව සලන්න.

  • විමසීම්: 0255704070/0766642882/0772774640

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com